SRILANKAN NEWS

උතුරේ මානව හිමිකම් දිනය සහ විරෝධතා

manithaurimai5ඊයේ දිනට (දෙසැ.10) යෙදී තිබුන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් වවුනියාව ඇතුළු උතුරු පළාතේ ස්ථාන කීපයක නිහඬ විරෝධතා සහ ආගමික පුදපූජා පැවැත්විණි.

යුද සමයේදී අතුරුදහන් වූ තම ඥාතීන් සොයා දෙන මෙන් රජයට බල කිරීම සඳහා එවැනි විරෝධතාවක් සංවිධානය කළ බව ඊට එක් වූ පිරිස් කියා සිටියහ.

අතුරුදහන් වූවන්ට යළි සිය පවුල් වෙත පැමිණීමට හැකි වේවා යැයි ප්‍රර්ථනා කරමින් ඔවුන්ගේ ඥාතීහු ආගමික පුදපූජා පැවැත්වූහ.

වත්මන් රජය විසින් ස්ථාපිත කරන ලද අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයට (OMP) ප්‍රමාණවත් බලතල ලබා දෙන මෙන් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීමත් විරෝධතාවේ එක් අරමුණකි.

පනත ගැටලුවක් :

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ කැඳවුම්කරු සුන්දරම් මහේන්ද්‍රන් එහිදී කියා සිටියේ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් ගැටලුවක් නැතත් ඊට අදාළ පනත සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් පවතින බවය.

”අතුරුදහන් වූවන් ගැන තොරතුරු සෙවීමට පත් කළ මැක්ස්වෙල් පරණගම කොමිසමට සිදු වුණෙත් බලතල නොමැතිකමයි. පුද්ගලයින් අතුරුදහන් කළ අය පිළිබඳ සාක්ෂි ලැබුනත් ඔවුන් නීතිය හමුවට ගෙන යාමට කොමිසමට බලයක් ලැබී තිබුණේ නැහැ.” ඔහු පැවසීය.

‘අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බලන්න වත්මන් රජය පිහිට වූ කාර්යාලයේ ඉරණමත් එයමයි. සම්මත කරගෙන ඇති පනතට අනුව ඒ කාර්යාලයටත් බලතල නැහැ. මේ නිසා අපි ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ පනත සංශෝධනය කොට වරදකරුවන් නීතිය හමුවට ගෙන යා හැකි අන්දමේ බලතල එම කාර්යාලයට ලබා දෙන ලෙසයි.” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අතුරුදහන් වූ මවක් හා දියණියක් නිදහස් :

යුද සමයේ අතුරුදහන් වූ පුද්ගලයන් හයදහසක් පිළිබඳ තම කාර්යාලයට තොරතුරු ලැබී ඇති බව කී සුන්දරම් මහේන්ද්‍රන්, අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පරණගම කොමිසම වෙත පැමිණිලි විසි දෙදහසත් විසිහතර දහසත් අතර සංඛ්‍යාවක් ලැබී ඇති බව ද පෙන්වා දුණි.

මේ වන විට, අතුරුදහන් වූ පුද්ගලයන්ගෙන් පහළොස් දෙනෙකු රහසිගත කඳවුරුවල සිට නිදහස ලබා පැමිණ ඇති බවත් මීට මාස කීපයකට ඉහතදී මවක් හා දියණියන් දෙදෙනෙකු ඒ අන්දමට නිදහස් කොට ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් එලෙස නිදහස ලැබූ පිරිසෙන් ප්‍රශ්න කොට ඔවුන් රඳවා ගෙන සිටියේ කවුරුන් විසින් දැයි යන්න හෙළි කරගැනීමට කිසිවෙකුත් පරීක්ෂණ නොපැවැත්වීම අසාධාරණයක් බවත් සුන්දරම් මහේන්ද්‍රන් සඳහන් කළේය.

(බිබිසි සංදේශය)