SRILANKAN NEWS

ශ්‍රී ලාංකික සාහිත්‍ය උසස් තලයකට ගෙනයාම අපේ බලාපොරොත්තුවයි – අගමැති

ශ්‍රී ලාංකික සාහිත්‍ය මීටත් වඩා උසස් තලයකට ගෙනයාම රජයේ බලාපොරොත්තුව බල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය 13 දින ගාල්ලේ පැවැති Fairway සාහිත්‍ය සම්මාන උළෙලට සහභාගී වෙම්න් අදහස් දැක්වූ අගමැතිවරයා මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් පවසා සිටියේ,

ෆෙයාවේ ගාල්ල සාහිත්‍ය උළෙලේදී අපගේ ශ්‍රී ලාංකික විශිෂ්ඨ නවකතා සම්මානයට පාත්‍ර වෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් පළමු විශිෂ්ඨ නවකතා තෝරාගෙන එහි කතුවරුන්ටත්, ප්‍රකාශකයන්ටත් මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණා. මෙහිදී මා විශේෂයෙන්ම මේ සාහිත්‍ය උත්සවය පිළිබඳව වචනයක් කතා කළ යුතුයි.

ෆෙයාවේ සාහිත්‍ය උළෙල ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම ප්‍රධාන සාහිත්‍ය උත්සවයක් බවට පත්වී තිබෙනවා.

මේ සාහිත්‍ය උත්සවය පැවැත්වීම සඳහා ගාල්ල තෝරා ගැනීම ඉතා වැදගත් බව කිව යුතුයි. අපේ නවීන සාහිත්‍යයෙන් තෙත් කලාපයේ රාජධානි ඇති වූ අවස්ථාවලත්, බ්‍රිතාන්‍ය යුගයෙන් පසු ලංකාවේ කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණවලින් පසුවත් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ වානිජ ආර්ථිකයේ ඇති වූ විශාල විපර්යාසයෙන් මධ්‍යස්ථානය වූයේ ගාල්ලයි.

අපේ සිංහල සාහිත්‍ය කෘති ගණනාවක් ගාල්ල ප්‍රදේශයෙන් බිහිවුණා. වීදාගම මහා මෛත්‍රිය ස්වාමීන් වහන්සේගේ පිරිවෙන් අධ්‍යාපනය ලැබූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ඇතුළු මෙරට රයිගම කෝට්ටේ සාහිත්‍යයටත් දකුණෙන් විශාල සේවයක් සිදු වුණා.

ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන යුගවලදී ගජමන් නෝනා වැනි කිවිදියන්ගෙන් අපේ සාහිත්‍යයට සිදුවූ සේවය අමතක කරන්න බැහැ.

එංගලන්තයේ, යුරෝපයේ බිහිවූ නවීන නවකතාව, ශ්‍රී ලංකාවෙන් මතුවීමේදී දකුණෙන් සිදුවූ සේවය පිළිබඳව මෙහිදී සිහිපත් කළ යුතුයි. එම සාහිත්‍යධරයන් අතුරින් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් පෙරමුණ ගන්නා බව කිව යුතුයි. එතුමන්ගේ ගම්පෙරළිය, කලියුගය මෙන්ම අනෙකුත් කෘති නිසා ශ්‍රී ලාංකික නවකතා ක්‍රමය තහවුරු වුණා.

මෙවැනි යුගයක සිංහල සාහිත්‍යයට රුකුලක් සැපයීම සඳහා මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය සංවිධාන කිරීම පිළිබඳව ස්තුතිවන්ත විය යුතුයි. ශ්‍රී ලාංකික සාහිත්‍ය මීටත් වඩා උසස් තලයකට ගෙනයාම අපේ බලාපොරොත්තුවයි. එය සිදුවිය යුත්තේ ක්‍රමානුකූලව සහ පියවරෙන් පියවරටයි.

ශ්‍රී ලාංකික සාහිත්‍ය ඉදිරියට ගෙනයාම සඳහා ෆෙයාවේ සමාගමෙන් ලබාදුන් සහයෝගය පිළිබඳව මා ස්තුතිවන්ත වෙනවා. මෙම සම්මාන උත්සවය සඳහා නවකතා 124 ක් ඉදිරිපත් කර ඇති බව විනිශ්ච මණ්ඩලයෙන් පැවැසුවා. එය ඉතා හොඳ තත්ත්වයක් බව කිව යුතුයි. එයින් පෙනෙන්නේ සාහිත්‍ය සඳහා ඇතිවී තිබෙන උනන්දුවයි.

පොත් ප්‍රකාශක සමාගම් පිළිගැනීමට ලක් කිරීමත් ඉතා හොඳ දෙයක්. සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතියක් ඇති කිරීම සඳහා ඒ අයට විශාල උනන්දුවක් තිබෙනවා. ලාභ ලබන පොත් මෙන්ම අලාභ ලබන පොතුත් තිබෙනවා. පොත් ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම ලෙහෙසි කටයුත්තක් නොවේ. ප්‍රකාශක සමාගම්වලට සහයෝගය ලබාදෙන්නේ කෙසේදැයි යන කරුණු පිළිබඳව රජයක් ලෙස අපේ අවධානයද යොමුවී තිබෙනවා. සිංහල පමණක් නොව දෙමළ සහ ඉංග්‍රීසි පොත්ද ප්‍රකාශයට පත් කරන හෙයින් ඒ අයටත් විශාල ස්තුතියක් පළ කළ යුතුයි.