අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි මුස්ලිම් ජනතාවට අයත් අක්කර දහස් ගණනක ඉඩම් රාජ්‍ය අනුග්‍රහණය මත මහ ජාතිකයන් සැලසුම් සහගතව ආක්‍රමණය කරමින් සිටින බවට චෝදනා කර සිටින ඉඩම් අයිතිවාසිකම් සඳහා වූ අම්පාර දිස්ත්‍රික්ක කමිටුව, මේ සම්බන්‍ධයෙන් සිය ජනතාවගේ අභිලාෂයන් ඉටුකළ යුතු මුස්ලිම් දේශපාලන නායකයන් සහ දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් නොසැලකිල්ලෙන් සිටින බවද පෙන්වාදී තිබේ.
ඉඩම් අයිතිවාසිකම් සඳහා වූ අම්පාර දිස්ත්‍රික්ක කමිටුවේ සාමාජිකයන් සහ මුස්ලිම් සිවිල් සමාජ නියෝජිතයන්, මානව හිමිකම් ක්‍රියාකරුවන් අතර පසුගිය සෙනසුරාදා දින කොළඹදී පැවැති සාකච්ඡා හමුවකදී මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ ඉඩම් අයිතිවාසිකම් සඳහා වූ අම්පාර දිස්ත්‍රික්ක කමිටුවේ සම්බන්‍ධිකාරක කයිරුදීන් නිහාල් අහ්මද් මහතා, අම්පාර දිස්ත්‍රික්කයේ යුද්දයට පෙර සහ යුද්දය අවසන්වු පසුද ඉතා සැලසුම් සහගතව සුළු ජාතිකයන්ට අයත් ඉඩම් විශේෂයෙන් මුස්ලිම් ජනතාවට අයත් ඉඩම් ආක්‍රමණය කරමින් සිටියි.
මේ සම්බන්‍ධයෙන් ඉඩම් අයිතිකරුවන් සහ ප්‍රදේශවාසීන් විරෝධතා රැසක් පවත්වා ඇති නමුත්, දේශපාලකයන් සහ අදාළ බළධාරින්ව හමුවී පැමිණිළි කළත් මෙතෙක් මේ සම්බන්‍ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මෙවැනි තත්වයකදී මුස්ලිම් සිවිල් නායකයන්ගේ සහාය බලාපොරොත්තුවෙන් කොළඹ පැමිණ සිටින්නෙමු.
ගල්ඔය සීනි සංස්ථාවේ වැඩකටයුතු සඳහා පදිංචි කරන ලද ජනපදවල සිටින ජාතිවාදී ඉඩම් ආක්‍රමණිකයන් විසින් දිගින් දිගටම සුළු ජාතින් වන මුස්ලිම් සහ දෙමළ ජනතාවගේ ඉඩම් ආක්‍රමණය කිරීම, එය ගැන රාජ්‍ය පරිපාලනය නොසැලකිල්ලෙන් කිසිවක් නොදන්නා අයුරින් කටයුතු කිරීම සුළු ජාතින්ට කරන තවත් විශාල අයිතිවාසිකම් උල්ලංඝණයක් සහ අසාධාරණයකි..
එයට උදාහරණ ලෙස, අම්බලත්තාරු වට්ටයි (අක්කර 750), කීත්තුප්පත්තු බාවාපුරම් (අක්කර 96), ඕමරන්කායි වට්ටයි (අක්කර 650), පොන්නෙන් වෙලි වට්ටයි (අක්කර 600)වැනි ඉඩම් සඳහන් කළ හැකිය. දශක පහකට අධික කාලයක් විසඳුමක් නැති ජාතික ප්‍රශ්ණය අම්පාර දිස්ත්‍රික්කයේ සිටින ජාතින් අතරද තවඳුරටත් ජාතින් අතර වෛරය සහ බෙදුම්වාදය ඇති කරමින් තිබේ.
යුද්දය පැවැති කාලයේ ගොවිතැන් කටයුතු සඳහා කුඹුරට ගිය ගොවීන් සමූහ ඝාතනයට ලක්වීම හේතුවෙන් සුළු ජාතික ජනතාවට තම ගොවිබිම්වලට ගොස් ගොවිතැන් කිරීමට නොහැකි තත්වයක් තිබූ බව සියළු දෙනා දන්නා කරුණකි.
2009 යුද්දය අවසන්වූ පසු තම ඉඩම්වලට ගොවිතැන් කිරීම සඳහා එම ජනතාව පැමිණි අවස්ථාවේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පූජා භූමි වැඩසටහන, සහ පුරාවිද්යා දෙපාර්තමේන්තුව, වැනි රාජ්‍ය ආයතනවලින් එම ජනතාවට සිය ඉඩම්වලට යාමට අවසර නොදී පලවාහැර තිබුණි. මේ අතර, ආරක්‍ෂාව සඳහා හමුදා කඳවුරු, ජාතික සංවර්ධනය යැයි පවසා රාජ්‍ය ආයතන නමින් සැලසුම් සහගතව එම ඉඩම් අත්පත්කරගෙන යන අතර, ඉඩම් අයිතියද උදුරාගෙන තිබේ.
එයට උදාහරණ ලෙස, වේගාමම් (අක්කර 1950), පොන්නන්වෙලි (අක්කර 600), කිරාන්කෝවයි (අක්කර 503), කිරාන්කෝමාරි (අක්කර 885), අෂ්රෆ් නගර් (අක්කර 150), යන ප්‍රදේශයන් සඳහන් කළ හැකිය.
දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවට අයත් ඉඩම් අනුපාතය ඉතා අඩු නමුත් තවඳුරටත් සුළු ජාතින්ට අයත් ඉඩම් මෙලෙස ආක්‍රමණය කිරීම ජනතාව අතර ප්‍රචණ්ඩත්වය ඇති කරන සැලසුම් සහගත වැඩපිළිවලකි. මෙයට කඩිනමින් විසඳුමක් ලබාදිය යුතුය.
මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ සුළු ජාතින් බහුලව ජීවත්වන ප්‍රදේශයන් හඳුනාගෙන එහි පුරාවිද්‍යා නටඹුන් තිබෙන බවත්, ස්ථාන 43 කදි පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ සලකුණු තිබෙන බවත්, එය බෞද්ධ ජනතාවගේ පූජණීය ස්ථාන බැවින් එම ප්‍රදේශයන් බෞද්ධ ජනතාවට පමණක් අයිත් ඉඩම් යැයි පවසමින් මහජාතික බලවේග පැමිණ ඉඩම් ආක්‍රමණයෙහි නිරතව සිටිති. එහි තවත් කටයුත්තක් ලෙස ඉරක්කාමම් ප්‍රදේශයේ පිහිටි මානික්කමඩු ගල් පර්වතයෙහි බුදු පිළිමයක් තැන්පත් කර එම ප්‍රදේශය ද ආක්‍රමණය කර තිබේ.
පොත්තානයි ප්‍රදේශයේ දී මෙලෙස බෞද්ධ කලාපයක් නම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
මෙම සාකච්ඡා හමුවට සහභාගිවූ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය, ආර්.ආර්.ටි. නීතීඥවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මුස්ලිම් මීඩියා ෆෝරම් විසින් මේ සම්බන්‍ධයෙන් සොයා බලා නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට සහාය ලබා දෙන බවට පොරොන්දුවූහ.
by – vidivelli
පරිවර්තනය – රීසාහ්
ග්ලෝබල් දෙමළ පුවත් – සිංහළ
Add Comment