SRILANKAN NEWS

නිදහස් අධ්‍යාපනය අවශ්‍යම දෙයක්-ඒක රාජ්‍ය අධ්‍යාපනයක් විය යුතුයි

“සයිටම් එක පිටුපස තියෙන දේශපාලනය අපි හොඳට අවබෝධ කර ගන්න ඕන. මෙතන තියෙන්නේ නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමේ පියවරවල්. අපි විශ්වාස කරනවා අපේ වගේ රටකට නිදහස් අධ්‍යාපනය අවශ්‍යම දෙයක් කියලා. ඒක රාජ්‍ය අධ්‍යාපනයක් විය යුතුයි. සෑම දරුවෙකුටම අධ්‍යාපන අයිතිය උරුම කරදීම ආණ්ඩුවේ වගකීමක්. ආණ්ඩුව මේ වගකීම බිඳ දාලා තමයි පුද්ගලික වෛද්‍ය විද්‍යාල ප‍්‍රමිතියෙන් තොරව ඇති කරන්න හදන්නේ. නිදහස් අධ්‍යාපනයට එල්ල කරන පහරවල්වලින් එකක් විතරයි සයිටම් කියන්නේ. තව ඒවා තියෙනවා. සයිටම් එකෙන් එළියට එන්නේ දොස්තරලා මිසක් කොන්දොස්තරලා නොවෙයිනේ. ප‍්‍රමිතියෙන් තොර ආයතනයකින් දොස්තරවරු බිහි කිරීමේ අනතුර කොයිතරම් ද කියලා කියන්න අමාරුයි. සයිටම් එකෙන් එහාට ගිය නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමේ වගකීමත් අපි සතුයි. අපි ඒ වගකීමටත් උරදීලා වැඩ කරනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසන්නේ ලංකාදීප ඉරිදා පුවත්පත සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ටිල්වින් සිල්වා මහතා…

“කොහොමද රටේ දේශපාලන වාතාවරණය එහෙම?

මේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු සහ බලාපොරොත්තු විශාල ප‍්‍රමාණයක් මේ වනවිට බිඳ වැටිලා තියෙන්නේ. තවදුරටත් මේ තට්ටු මාරු ක‍්‍රමයෙන් යන්න බැහැ කියලා ජනතාව අවබෝධ කර ගනිමින් ඉන්නවා. රට අරාජික වෙච්ච බවක් තමයි අපට පේන්න තියෙන්නේ. කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ. ඒත් දවසින් දවස ප‍්‍රශ්න නම් වැඩි වෙනවා. ආර්ථික වශයෙන් රට විශාල අගාධයකට වැටිලා තියෙන්නේ. හොරකම් දූෂණවලට සම්බන්ධ අය අල්ලනවා කියලා කියපු එකත් හරියට සිද්ධ වෙන පාටක් නැහැ. පරණ හොරු නැවත බලය අල්ලන්න උත්සාහ කරමින් ඉන්නවා. මේ දේවල් එක්ක රට වෙනස් දිශාවකට හැරවිය යුතු මොහොත උදාවෙලා තියෙනවා කියලා අපි හිතනවා.

අවුරුදු දෙකකට කලින් කියපු යහපාලනය පේන්නවත් නැද්ද එතකොට?

ඇත්තටම යහපාලනය කියලා ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් දැන් අහෝසි වෙමින් යන්නේ. දින 100 ආණ්ඩුව තියෙද්දී යම්කිසි දෙයක් දිනා ගන්න උත්සාහ කළා. යම් ප‍්‍රතිසංස්කරණ සිද්ධ වුණා. ඒත් ඊට පස්සේ දිගටම ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය තියෙන්නේ යහපාලනයට හාත්පසින්ම වෙනස් මාර්ගයක. කොටින්ම රට ගමන් කරන්නේ පරණ පාරෙමයි.

යහපාලනය යන විදිය හරි නැති නිසානේ 2017 ජේ.වී.පී. එක රට රත් කරනවා කිව්වේ. දැන් ඇති පදමට රත්වෙලාද?

අපේ පැත්තෙන් අපේ ක්‍රියාමාර්ග පටන් අරගෙන තියෙන්නේ. අපේ සියලු බලවේග සටන් බිමේ සටන් කරමින් ඉන්නේ. පසුගිය දවස්වල හම්බන්තොට වරාය සහ ඒ ආශ්‍රිත ඉඩම් විකිණීම සම්බන්ධයෙන් අපි විශාල අරගලයක් අරගෙන ගියා. ඒකෙන් ආණ්ඩුවට සිද්ධ වුණා අඩියක් පස්සට යන්න. අපි හිතනවා අපි සටන් බිමේ කාර්යය හරියට කරමින් ඉන්නවා කියලා. සමාජ බලවේග ඒකාරාශී කිරීමේ වැඩපිළිවෙළකුත් ඊට සමාන්තරව ක්‍රියාත්මක වෙනවා. 2020 ඉලක්ක කර ගනිමින් 2017 දී රටේ සටන් බිම ශක්තිමත් කිරිම අඛණ්ඩව අපි කරගෙන යනවා. ඒකෙ ප‍්‍රතිඵල දැනටත් පේන්න තියෙනවා.

ඔබේ සටන් නිසා ආණ්ඩුවට ඇතැම් තැනකදී අඩියක් පස්සට ගන්න වුණා කියලා කිව්වට සයිටම් ප‍්‍රශ්නය වගේ තැන්වලදී ආණ්ඩුව, ආණ්ඩුවට ඕන දේ කරගත්තා නේද?

ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා ආණ්ඩුවට ඕන දේ කර ගන්න. ඒත් තාම ඒක අවසන් කර ගන්න බැරි වුණා. අපිට තාම අවස්ථාව තියෙනවා සයිටම් එක පරාජයට පත් කරන්න. ඒක නිසා අපි දැනට පොදුවේ හැදිලා තියෙන අරගල භූමියෙන් පක්ෂයක් ලෙස වෙනමත් මේ සඳහා සටන් කරනවා. සයිටම් සටන තාම ඉවර නැහැ. සයිටම් විරෝධී සියලු බලවේග එකට එකතු කරගෙන මේ සටන ඉදිරියට ගෙනියන්න ඕනකමක් තියෙනවා.

මතවාදීව එකට පෑහෙන්නෙ නැති කණ්ඩායම් පවා එකට එකතුවෙලා සයිටම් විරෝධය තර කරනවා. සයිටම් කියන්නේ ඒ තරම්ම එපා කරපු දෙයක් ද?

සයිටම් එක පිටුපස තියෙන දේශපාලනය අපි හොඳට අවබෝධ කර ගන්න ඕන. මෙතන තියෙන්නේ නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමේ පියවරවල්. අපි විශ්වාස කරනවා අපේ වගේ රටකට නිදහස් අධ්‍යාපනය අවශ්‍යම දෙයක් කියලා. ඒක රාජ්‍ය අධ්‍යාපනයක් විය යුතුයි. සෑම දරුවෙකුටම අධ්‍යාපන අයිතිය උරුම කරදීම ආණ්ඩුවේ වගකීමක්. ආණ්ඩුව මේ වගකීම බිඳ දාලා තමයි පුද්ගලික වෛද්‍ය විද්‍යාල ප‍්‍රමිතියෙන් තොරව ඇති කරන්න හදන්නේ. නිදහස් අධ්‍යාපනයට එල්ල කරන පහරවල්වලින් එකක් විතරයි සයිටම් කියන්නේ. තව ඒවා තියෙනවා. සයිටම් එකෙන් එළියට එන්නේ දොස්තරලා මිසක් කොන්දොස්තරලා නොවෙයිනේ. ප‍්‍රමිතියෙන් තොර ආයතනයකින් දොස්තරවරු බිහි කිරීමේ අනතුර කොයිතරම් ද කියලා කියන්න අමාරුයි. සයිටම් එකෙන් එහාට ගිය නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකීමේ වගකීමත් අපි සතුයි. අපි ඒ වගකීමටත් උරදීලා වැඩ කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ ගෙනියන සයිටම් විරෝධය අතරෙදි සයිටම් ආයතනයේ ඉහළ නිලධාරියෙකුගේ මෝටර් රථයට ඒලල වුණු වෙඩි ප‍්‍රහාරයේ චෝදනාවත් ජවිපෙ පැත්තට තල්ලු වුණා නේද?

ආණ්ඩුවේ ඉන්නවනේ ටිකක් කට හැකර ඇමතිවරයෙක් දෙන්නෙක්. ඒ අයට කිසිම වගකීමක් නැහැ. කටට එන දේ ඔහේ කියලා දානවා. ඒ වගේ අය උත්සාහ කළා මේ සිදුවීම අපේ පැත්තට තල්ලු කරන්න පුළුවන්ද බලන්න. ඒත් දැන් පැහැදිලියි මේක ඒ අයගෙම කුමන්ත‍්‍රණයක් කියලා. පොලිස් පරීක්ෂණ පැත්තෙ දැන් සැක මතුවෙන්න පටන් අරන් තියෙනවා. මේ වෙඩි තැබීම සිද්ධ වෙන වෙලාවේ ඔය කියන අදාළ පුද්ගලයා වාහනේ හිටියද නැද්ද කියන එක ගැන. මේ වෙඩි තැබීමේ සිදුවීම ඩ‍්‍රාමා එකක් කියන දේට තොරතුරු එකතුවෙමින් යනවා. ඒකෙන්ම පැහැදිලි වෙනවා සයිටම් විරෝධයට මුහුණ දී ගන්න බැරුව ප‍්‍රශ්නය වෙන පැත්තකට හරවලා මිනිස්සු නොමග යවන්න ගන්න උත්සාහයන් ක්‍රියාත්මක වෙනවා කියලා. මේ රඟපෑම් මිනිස්සු පිළිගන්නේ නැහැ. මේ වගේ නාට්‍ය පෙන්නලා අපේ සයිටම් විරෝධය නතර කරන්න නම් බැහැ. අපි ඒක දිගටම කරගෙන යනවා.

ජනතා විමුක්ති පෙරමුණ දිගටම සටන් කරපු හාල් ප‍්‍රශ්නයටත් තාම හරි විසඳුමක් නැහැ. තාම අපි කඩේට ගියාම මුදලාලිලා එක්ක රණ්ඩු වෙන්න වෙලා තියෙන්නේ. මේකට වගකියන්න ඕන අයට දෙයියන්ගෙ හාල් කැවිලද?

මේ ප‍්‍රශ්නයට ජනතා විමුක්ති පෙරමුණ මැදිහත්වීම තුළ විශාල ජනමතයක් හදන්න පුළුවන් වෙලා තියෙනවා. අපි විශාල හඬක් නැගුවා. ජනාධිපතිගෙ පවා ඇස් ඇරුණේ මේ හඬ නිසා තමයි. අපිට කරන්න පුළුවන් අරගල කරන්න විතරයි. ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්න ඕන ආණ්ඩුව. අපි ආණ්ඩුවක් නොවෙයි. අවාසනාවට ආණ්ඩුව ගන්නේ මහදැනමුත්තගේ ජාතියෙ තීන්දු. මිනිස්සුන්ගෙන් ගැලවෙන්න ආණ්ඩුව, හාල්වලට පාලන මිලක් දානවා. ඒත් ඒ මිලට හාල් සපයන්න කවුරුවත් නැහැ. මෙතන මහ පරිමාණ මෝල් හිමියන්ගේ මාෆියාවක් තියෙනවා. ලෙඩේට නියම බෙහෙත කරන්නේ නැතුව ආණ්ඩුව අතීසාරයට අමුඩ ගහනවා වගේ විසඳුම් තමයි ගෙන්නේ. අපි වී සහ සහල් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් තවදුරටත් අපේ සටන අරගෙන යනවා.

දේශපාලන කරළියේ අත පය දිග අරින්න අවස්ථාව හම්බවුණු කුමාර් ගුණරත්නම් කියන්නේ අලුත් ආකෘතියකට එයාල බලය ගන්න සූදානම් වෙනවා කියලා. එහෙම වුණොත් 2020 බලය ගන්න බලාගෙන ඉන්න ජවිපෙට ලේසි වෙන එකක් නැහැ.

දේශපාලන විහිළු කරන්න ඕන නැහැ කියලා අපි හිතනවා. ඒක නිසා ඔය කතාව ගැන කතා කරන එකත් තේරුමක් නැති දෙයක්. අපි නම් දන්නේ නැහැ එයාලා බලය ගන්න හදන අලුත් ආකෘතිය මොකක්ද කියලා. හැබැයි අපෙන් කැඩිලා ගිහින් අවුරුදු පහකට පස්සෙත් ඔය කණ්ඩායමට කියන්න ඉතුරුවෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් අයින් වෙන්න වෙච්ච හේතුව විතරයි. පසුගිය අවුරුදු පහට ඒ අය මොනවද කළේ කියලා කියන්න දෙයක් තියෙනවද? දේශපාලන වශයෙන් අනාථ කල්ලියක් කතා ගැන කතා කරලා අපේ කාලය නාස්ති කර ගන්නේ මොකටද?

මහ බැංකු බැඳුම්කර සිදුවීමත් එක්කම විගණකාධිපතිවරයා ආරක්ෂා කරන්න ජනතා විමුක්ති පෙරමුණ, පෙරමුණ ගැනීම තුළ ඇතැම් දෙනා කිව්වා අන්තිමට විගණකාධිපති ගාමිණී මහත්තයත් ජවිපෙ වේදිකාවට නග්ගගන්නයි මේ කැස කවන්නේ කියලා?

විගණකාධිපතිතුමා දේශපාලනය කරිය ද කියලා අපි දන්නේ නැහැ. ඒක එතුමාගේ තීන්දුවක්. අපි හැම විටම මේ රටේ යුක්තිය, සාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා. වංචා, දූෂණවලට එරෙහිව කටයුතු කරනවා. ඒ වගේ අවස්ථාවල අවංක රාජ්‍ය නිලධාරීන් අපිත් එක්ක සමීපව කටයුතු කරනවා. එහෙමයි කියලා ඒ අය අපේ වේදිකාවට බිළිබා ගන්න උත්සාහයක් අපිට නැහැ. අපි විගණකාධිපතිවරයා වෙනුවෙන් පෙනී ඉන්නේ මේ වෙලාවේ ඔහු යුක්තිගරුකව තමන්ගේ රාජකාරිය ඉටු කරන නිසා. ආණ්ඩුව ඔහුට යම් යම් අකටයුතුකම් කරන නිසා, අපි ඔහු ආරක්ෂා කරන්න මැදිහත් වෙනවා. මෙතන වෙන දේශපාලන බලාපොරොත්තු අපට නැහැ.

කරුණා අම්මාන්ගේ අලුත් පක්ෂයක් හදාගෙන දේශපාලනය කරන්න හදනවලු. මේ මොකාටද එන්න හදන්නේ?

වෙන මොනවටවත් නොවෙයි මේ එන්න හදන්නේ පරණ හොරු නඩය එක්ක ඉඳලා ඇති වෙලා යන එන මඟක් නැතිවෙලා අනාථවුණාට පස්සේ කොහේ හරි එල්ලෙන්න හදන උත්සාහයක්. කරුණා අම්මාන් දැන් අලුත් පක්ෂයක් හදනවා කියනවා. මීට කිලන් ජී.එල්. පීරිසුත් පක්ෂයක් හැදුවා. ඒකට දැන් වෙච්ච දෙයක් නැහැ. එයාලා පුප්පන්න හදපු පොහොට්ටුව අද පරවෙලා බිම වැටිලා. කරුණා අම්මාන්ටත් වෙන්නේ ඕකම තමයි.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ගැන මේ දවස්වල සිනමා පටයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේකට පක්ෂයේ මැදිහත්වීමක් තියෙනවද?

විජේවීර චරිතය ගැන චිත‍්‍රපටයක් නිර්මාණය වෙනවා. චිත‍්‍රපට හදන එකට අපිට විරුද්ධ වෙන්න බැහැ. ඒක ඒ අයගෙ අයිතිය.

ඒක අධ්‍යක්ෂණය කරන්නේ පසුගිය මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරපු අනුරුද්ධ ජයසිංහ කියන චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා. මේකට ඔබලාගේ ආශීර්වාදයක් නැති වෙන්න බැහැ.?

මේ සඳහා අපේ පක්ෂයේ මැදිහත්වීමක් නැහැ. අනුරද්ධ ජයසිංහ සහෝදරයා අපෙන් මේ ගැන විමසුවා. ඒ වගේම යම් යම් තොරතුරු ගත්තා. අපි අපිට කරන්න පුළුවන් උදව් කළා. අපිත් කල්පනා කරනවා මේ වගේ සිනමා පටයක් නිර්මාණය වුණාට ප‍්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි මේක සංකීර්ණ වැඩක්. විජේවීර කියන්නේ දැවැන්ත දේශපාලන චරිතයක්. ඔහුට සාධාරණයක් චිත‍්‍රපටයෙන් විය යුතුයි. ඒත් ප‍්‍රතිඵලය මොකක් වේවිද කියලා අපිට දැන්ම කියන්න බැහැ. මේක වඩා හොඳින් සාර්ථක කර ගන්න අපිට දෙන්න පුළුවන් සහයෝගයක් අපි දෙනවා.

ඔබලාගේ 2020 ඉලක්කයට මේක පොඩි තල්ලුවක් නොවෙයි ද?

චිත‍්‍රපටිය නරඹනකම් ඒ ගැන කියන්න බැහැනේ. චිත‍්‍රපටිය තුළ විජේවීර චරිතය පිළිබිඹුවෙන ආකාරය මත තමයි ඒක තීරණය වෙන්නේ.”