WORLD NEWS

මාලදිවයිනේ අගවිනිසුරු සහ ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු අත්අඩංගුවට

මාලදිවයිනේ පොලිසිය එරට අගවිනිසුරු අබ්දුල්ලා සයිද් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අලි හමීඩ් අද (6) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් ඊයේ (05) දින 15ක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. ඉන් අනතුරුව ඊයේ රාත්‍රීයේ එරට හිටපු ජනාධිපති අබ්දුල් ගයුම්, ඔහුගේ බෑණනුවන් අත්අඩංගුවට ගත් අතර තවත් විපක්ෂ දේශපලන ක්‍රියාකාරීන් කිහිපදෙනකුම අත්අඩංගුවට ගෙන තිබිණි.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණ මේ මස ආරම්භයේදී නියෝග කළේය. විපක්ෂයේ නායකයන් නව දෙනකු ඇතුළු දේශපාලන සිරකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශපාලන මැදිහත් වීම් මත බව ඔවුන්ගේ නඩු විභාග සිදු වී ඇති ආකාරය අසාධාරණ බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව දුන්නේය.

කෙසේ නමුත් එම තීන්දුව ක්‍රියාත්මක කිරීම ජනාධිපති අබ්දුල්ලා යමීන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය. ඒත් සමඟ කාලයක් තිස්සේ මාලදිවයිනේ පැවති අර්බුදකාරී තත්ත්වය උග්‍ර අතට හැරිණි.