SRILANKAN NEWS

ඔබේ නෙළුම් පොහොට්ටුව ඊළම ලෙස පිපෙනු ඇති – විපක්ෂ නායක ආර්. සම්බන්ධන්

ගරු කථානායකතුමනි,
මා හිතුවා මේ විවාදයට වචන ස්වල්පයක් එකතු කරන්න.

ජනතාව තීන්දුවක් දී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයකදී ජනතා තීන්දුවට ගරු කළ යුතුයි. මේ මෝසම ගෙන ආ ගරු මන්ත්‍රීතුමා සහ එය ස්ථීර කළ මන්ත්‍රීතුමා යම් යම් කරුණු ගැන සඳහන් කර තිබෙනවා. මූලිකවම පෙබරවාරි 10 වෙනිදා පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල ගැන ඉතා කෙටි විග්‍රහයක් කළ යුතු යැයි මම හිතනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම මැතිවරණය සඳහා ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 44.69% ලබා ගත්තා. එක්සත් ජාතික පක්ෂය 32.61%ක් ලබාගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානය 8.90%ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වුණේ 4.48%කි. යමෙකු විසින් එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රතිශතය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිශතයන් සමග එකතු කරන්නේ නම්, එම පක්ෂ තුන එක්ව 45.99%ක ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 44.69% ක්, එනම් අනෙක් පක්ෂ තුන එක් කළ විට එන ප්‍රතිශතයට වඩා 2%ක් අඩුවෙන් ලබාගෙන තිබෙනවා.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට 4.32%ක ප්‍රතිශතයක් ලැබුණා. දෙමළ ජාතික සන්ධානයට 4.07%ක ප්‍රතිශතයක් ලැබුණා. යමෙකු එම පක්ෂ දෙකට ලැබුණු ඡන්ද ප්‍රතිශතයනුත්, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ තුන ලද ප්‍රතිශතයන්ට එකතු කළොත්, එහි එකතු 55.31%ක් වෙනවා. වෙනත් වචනවලින් කිව්වොත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහි පක්ෂ 55.31%ක් ලබාගෙන තිබෙන අතර, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබෙන්නේ 44.69%ක් පමණයි. මෙය විවාදයට ලක් කළ නොහැකියි. අභියෝගයටද ලක් කළ නොහැකියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 2015 දි 47.58% ක් ලබා ගත්තා. ඔහු 2015 ඒ ජනවාරි මැතිවරණයේදී ලබා ගත් ඡන්ද ප්‍රතිශතය, ඔහු දැන් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රතිශයට වඩා වැඩියි.

මෑත කාලයේදී මැතිවරණ තුනක් පැවැත්වෙලා තිබෙනවා. 2015 ජනාධිපතිවරණය, 2015 පාර්ලිමේන්තු මැතිවරණය සහ මෙම මාසයේ පැවැත්වූ පළාත් පාලන නිලවරණය. මේ කිසිදු මැතිවරණයකදී හිටපු ජනපති රාජපක්ෂට සියයට පනහ ඉක්මවා ඡන්ද ලබාගන්න නොහැකි වී තිබෙනවා. ඔහුගේ ඡන්ද ප්‍රතිශතය හැම විටම තිබෙන්නේ සියයට පනහකටත් වඩා අඩුවෙනි. ඒ ජනපතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයෙදි සහ පළාත් පාලන මැතිවරණයෙදීයි.

ඉතින් මෙහි උද්දාම වෙන්න තරම් දෙයක් නෑ. මැතිවරණ පවත්වනවා. පක්ෂ ජය ගන්නවා. පක්ෂ පරාජය වෙනවා. පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුණා. ඔබ ජයග්‍රහණය කළා. කිසිවෙක් එය විවාදයට ලක් කරන්නේ නෑ. නමුත් මෙහි සැලකිය යුතු කරුණ වන්නේ ඔබලාට එරෙහිව 55.31% ඡන්ද ප්‍රකාශ වෙද්දි, ඔබලාට ලැබී තියෙන්නෙ 44.69%ක් වීමයි. ඉතින් මෙහි කුමක්ද උද්දාමයට පත්වෙන්න තියෙන්නෙ? කිසිවක් නැහැ.

පාර්ලිමේන්තුව පිහිටුවනු ලැබුවේ මේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රකාශිත ඡන්දවලින් නොවේ. පාර්ලිමේන්තුව පිහිටුවනු ලැබුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප්‍රකාශිත වූ ඡන්දවලින්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මේ රටේ නීති පද්ධතිය පළාත් පාලන මැතිවරණයෙන් ඔබ ඉල්ලා සිටින වාසි සහ ඔබගේ අභිමතය පරිදි යටපත් කළ නොහැකියි. මට යම් ප්‍රකාශයන් කිහිපයක් තිබෙනවා හුවා දක්වන්න.

ගරු කථානායකතුමනි,
ඔබතුමා අවසර දෙනවා නම්, මේ මැතිවරණයේ ගෙන ගිය ප්‍රචාරක යාන්ත්‍රණයේ ස්වභාවය සම්බන්ධව යමක් මා කියන්න කැමතියි. මට ආන්දෝලනයක් ඇති කරන්න උවමනාවක් නෑ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්තරා මැතිවරණ රැළියක් අතරතුර “මේ මැතිවරණයේ ප්‍රතිඵල මත ඇතැම් විට දෙමළ ඊළම බිහිවෙන්න උනත් පුළුවන්” කියා ප්‍රකාශයක් කළ විට, මට තැතිගැන්මක් ඇති වුණා.

එයට හේතු වශයෙන් ඔහු කිව්වෙ, “ගොනුකරමින් පවතින නව ව්‍යවස්ථාවක ප්‍රතිඵලය වශයෙන් එය සිදු විය හැකියි” යනුවෙන්.

1987-88 හෙවත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල ගැන්වූ කාලයේ සිට මේ රටේ සියලු පුරවැසියන්ට පිළිගත හැකි අන්දමේ දේශපාලන විසඳුමක් ගෙන ඒම සඳහා 13 වැනි සංශෝධනය වැඩි දියුණු කරන්න විවිධ ජනාධිපතිවරුන් සහ රජයන් අඛණ්ඩ උත්සාහයක් දරා තිබෙනවා. ජනාධිපති ප්‍රේමදාස සමයේ 13 වැනි ව්‍යවස්ථාවට බොහෝ එහා ගිය සංශෝධන සහිත මංගල මුණසිංහ ගෙන ආ කැබිනට් යෝජනා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනි සමයේ 2000 වසරේ අන් කවරෙකුවත් නොව මහාචාර්ය ජී. එල්. පීරිස්ම පාර්ලිමේන්තුවට ගෙන ආ 13 වෙනි සංශෝධනයට බොහෝ එහා ගිය ව්‍යවස්ථා සංශෝධන, කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ආ ඒ යෝජිත ව්‍යවස්ථාවේ නව අංග රාශියකුත් තිබුණා.

එයින් පසුව බලයට ආ ජනපති මහින්ද රාජපක්ෂ ඔහුගේ පළමු සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේදී කළ කථාව යළි සිහියට ගත්තොත් ඔහු කථා කළේ, කළ හැකි උපරිම බලය බෙදා හැරීම ගැන. ඔහු විධායක කමිටුවක් පත් කළා. ඒ කමිටුව වාර්තාවකුත් ඉදිරිපත් කළා. මහාචාර්ය තිස්ස විතාරණ යටතේ පැවති කමිටුවක් ඔවුන්ගේම වාර්ථාවකුත් ඉදිරිපත් කළා. එහි තිබුණු යෝජනා 13 වැනි සංශෝධනයෙන් බොහෝ දුර ගිය යෝජනා. ඒක තමයි පැවති ස්ථාවරය.

එයින් පසුව මේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පරිවර්තනය වුණා. එහෙම උණේ මේ පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව සම්මත කර ගත් කෙටුම්පතක් මඟින්. ඒකාබද්ධ විපක්ෂයේත් සියලු දෙනාගේ සහාය ඒ මොහොතේ ඒ පනත් කෙටුම්පතට තිබුණා. ඔබ කිසිවෙක් එයට විරෝධය ඵල කළේ නැහැ. මේ සඳහා නියාමන කමිටුවක් පත් කළා. ඔබ ඒ නියාමන කමිටුවේ කටයුතුවලටත් සහභාගී වුණා. ඔබ කිසිවෙක් එයට විරෝධය පල කළේ නැහැ. ඔබ කිසිවෙක් එයට විරුද්ධව වචනයක් මේ පාර්ලිමේන්තුවේ කථා කළේ නැහැ. ඔබ කිසිවෙක් එයට එරෙහිව වචනයක් ඒ නියාමන කමිටුවේදි කථා කලේ නැහැ. ඔබ එය පිළිගත්තා. ඔබ එය සමඟ එකඟතාවයෙන් යුතුව ඉදිරියට යන්න එකඟ වුණා. එක පාරටම මේ මහින්ද රාජපක්ෂ කියනවා ” ජනතාව ප්‍රවේශම් නොවුනොත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඊළම බිහිවෙන්න පුළුවන්” කියලා.

මම කියනවා කතානායකතුමනි, මෙන්න මේ පණිවිඩය මේ රටේ අහිංසක සිංහල ජනතාව අතරේ පතුරුවලා තිබෙනවා. ඔවුන්ට කියා තිබෙනවා “මේක ඊළම වෙනුවෙන් දුන්නොත්, ඔබ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ප්‍රකාශ කළොත්, එහි ප්‍රතිඵලය වෙන්නේ ඊළම බිහිවීම. ඒ නිසා ඔවුන්ට ඡන්දය දෙන්න එපා නෙළුම් පොහොට්ටුවට ඡන්දය දෙන්න.” කියලා.

මට දැන ගන්න ලැබෙනවා කතානායකතුමනි, මේ ප්‍රචාරණය දකුණේ සියලුම පන්සල්වල, සියලුම ගම්මානවල ඉතාම දුෂ්ඨ ලෙස සිදු කෙරුණ බව. මා හිතන්නේ මෙය ඉතාම අභාග්‍ය සම්පන්නයි.

මට වාර්තාවල සටහන් කරන්න අවශ්‍යය; මගේ පක්ෂය, අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, නොබෙදුණු, බෙදිය නොහැකි, තනි රටක් තුළ දේශපාලන විසඳුමක් ගැන කථා කළ බව. රට බෙදීම ගැන කථා කරපු කිසිම ප්‍රචාරක වැඩපිළිවෙළක් උතුරේ හෝ නැගෙනහිර කොතැනකවත් කෙරුණේ නැහැ. අපි කථා කළේ අපේ ජනතාවට පිළිගත හැකි, සාධාරණ, බලය බෙදීමේ ව්‍යුහයක්, එක්සත් නොබෙදුණු, නොබෙදිය හැකි, තනි රටක රාමුව තුළ ක්‍රියාත්මක කිරීම ගැන. ඒකයි අපි අපේ ප්‍රදේශ සියල්ලෙහි ගෙන ගිය ප්‍රචාරක වැඩ පිළිවෙළ. අප එසේ කරද්දි, කොහොමද ජනපති රාජපක්ෂ කියන්නේ “මේ ඡන්දයෙන් පසුව ඊළම නිර්මාණය වෙන බව?” මේක දකුණේ අහිංසක සිංහල ජනතාවට කරපු වංචාවක් පමණක් නෙමෙයි. මේක තමන්ටත් ඇතුළුව සියලු දෙනාට කරපු වංචාවක්.

මම කැමතියි මේක වාර්ථාගත කරන්න, මම කැමතියි මේ රටේ සියලු දෙනාට දැනුම් දෙන්න, මේ වෛරී සහගත, ද්වේෂසහගත, සත්‍යයෙන් තොර, අසත්‍ය ප්‍රචාරණය කරන මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පොදුජන පක්ෂය මේ න්‍යාය පත්‍රයම ඉදිරියට ගෙන ගියහොත් ඊළම බිහිවෙන්නේ අප නිසා නෙමෙයි, ඊළම බිහිවෙන්නේ ඔබලාගේ නෙළුම් පොහොට්ටුව නිසා. ඔබේ නෙළුම් පොහොට්ටුව ඊළම ලෙස පිපෙනු ඇති. අන්න එයයි සිදුවන්නේ. ඒ නිසා කරුණාකරලා, ඒ වගේ අසත්‍ය ප්‍රචාර තුළින් සිල්ලර දේශපාලන වාසි ලබා ගැනීමට ඔබට ඇති ආශාවන් මැඩ පවත්වා ගන්න.

ස්තූතියි කතානායකතුමනි!

රැස – 22.02.2018