SRILANKAN NEWS

මුල්ලිවායිකාල් අනුස්මරණ සිද්ධස්ථානයට අතුරු තහනමක්..

යාපනය විශ්ව විද්‍යාල භූමියේදී මුල්ලිවායිකාල් අනුස්මරණ සිද්ධස්ථානයක් ඉදිකිරීමට අතුරු තහනමක් පැනවීමට විශ්ව විද්‍යාලයේ පරිපාලනයට ඉහළ මට්ටමින් දැනුම් දී ඇති බව වාර්තාවේ.

අවසන් යුද්දයේදී මිය ගිය මුල්ලිවායිකාල් ඛෙදවාචකය සිහිපත් කිරීම සඳහා මෙම අනුස්මරණ සිද්ධස්ථානය ඉදිකිරීමට යාපනය විශ්ව විද්‍යාලයෙහි සිසුන් සැලසුම් කර තිබුණි. විශ්ව විද්‍යාල භූමියේදී එය ඉදිකිරීම සඳහාවූ වැඩ කටයුතු පසුගිය බදාදා (18) දින ආරම්භ කර තිබුණි. කෙසේ නමුත් එම ස්ථානයේ එය ඉදිකිරීමට විශ්ව විද්‍යාලයේ පරිපාලකයන් අත්හිටුවා තිබූ අතර, පරිපාලකයන් සහ ශිෂ්‍ය නායකයන් අතර පසුගිය බ්‍රහස්පතින්දා දින සාකච්ඡාවක් ද පැවැත්වුණි.

එහිදී විශ්වවිද්‍යාලයේ මාවිරු අනුස්මරණ භූමිය අසල මුල්ලිවායිකාල් අනුස්මරණ සිද්ධස්ථානය ඉදිකරන ලෙස පරිපාලනය විසින් පවසා තිබූ අතර, සිසුන්ද එයට එකඟවී පරිපාලන සභාව සඳහන් කළ ස්ථානයේදී මුල්ලිවායිකාල් අනුස්මරණ සිද්ධස්ථානය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේය.

මෙවැනි තත්වයකදී විශ්ව විද්‍යාල භූමිය තුල ඉදිකරන එම අනුස්මරණ සිද්ධස්ථානයේ වැඩ කටයුතු වහාම අත්හිටුවන්නැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය එක්ව යාපනය විශ්ව විද්‍යාල පරිපාලන සභාවට නියෝග කර තිබේ. ඒ අනුව සිසුන් විසින් සිදුකළ වැඩ කටයුතු සියල්ල ඊයේ සවස නවතා තබා ඇත.