ARTICLES SRILANKAN NEWS

ට්‍රම්ප්ගේ ජය, යුද අපරාධ පරීක්‍ෂණ හුදෙක් වචන වලට සිමා වෙයිද – සුනන්ද දේශප්‍රිය

questian ප්‍රශ්ණ ගැටළුඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීම ගැන යහපාලන දේශපාලණඥයකු වන අමාත්‍ය රාජිත සේනාරන්ත මහතා සතුටට පත්වි සිටී.(රාජ්‍ය නායකයින් සම්ප්‍රදායානුකූලව ඔහුට සුභ පැතීම වෙනම දෙයකි.) රාජිත සේනාරත්න කියන්නේ දැන් ඉතින් ඇමෙරිකාව අනෙක් රටවල කටයුතු වලට ඇඟිලි නොගසනු ඇතැයි තමන් සතුටුවන බවයි. එම ප්‍රකාශයම කර ඇති ශ්‍රී ලංකාවේ අනෙක් දේහපාලනඥයා මහින්ද රාජපක්ෂය. රාජපක්ෂ කියා සිටින්නේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ට්‍රම්ප් පෙනී සිටි කාරණා මුලු ලෝකයටම ආදාළ වන බවත් ඔහු යටතේ තනි තනි රටවල ස්වාධිපත්‍ය ගරුකරන නව ලෝක රටාවක් ඇතිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

දෙපැත්තක සිටිය ද මේ දේශපාලනඥයින් දෙදෙනාම කියන්නේ අමූලික බොරුවකි. එයින් පෙන්නුම් කරන්නේ රාජිත මෙන්ම රාජපක්ෂ ද එක්කෝ ට්‍රම්ප් ගැන අබමල් රේනුවක් වත් නොදන්නා බවය. නැත්නම් දැන දැන ට්‍රම්ප්ගේ වලිගයේ එල්ලෙන්නට යන බවය.

ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ දේශපාලනය ඉලක්ක කළ ප්‍රධාන සතුරන් දෙදෙනෙක්ම රාජපක්ෂ සමයේ ගජ මිතුරන් වූ රටවල්ය. එනම් ඉරානය සහ චීනයයි. ඉරානය සමඟ ඔබාමා පාලනය ඇති කරගත් න්‍යෂ්ටික ආයුධ වැළැක්වීමේ සහජීවන පිළිවෙත මෙන්ම විදේශ සමාගම් ගෙන්වා ගැනීම මත පදනම් වූ චීනයේ ආර්ථික වර්ධනය ද ට්‍රම්ප්ගේ දරුණූ ප්‍රහාරයන්ට ලක්විය. එය දැන් විනාශයේ අද්දරය. බොහෝ දුරට කියුබාව සමඟ ඔබාමා පාලනය ඇති කරගත් සංහිදියාව ද ට්‍රම්ප් විසින් සුණු විසුණු කර දමන්නට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික මිතුරකු ලෙස සැළකෙන මෙක්සිකෝව ද ට්‍රම්ප්ගේ ප්‍රධානතම හතුරෙකි. ඇමෙරිකාවෙහි වසන ලතින් ඇමෙරිකානුවන් ට්‍රම්ප් හැදින්වූයේ ස්ත්‍රී දූෂකයන් සහ මත් ද්‍රව්‍ය අලෙවි කරන්නන් ලෙසය.

ට්‍රම්ප් පාලනය යටතේ නව ලෝක රටාවක් ඇතිවනු ඇති නම් ඒ වනාහී තනිකරම ඇමෙරිකානු බලය මූලික කොටගත් එකක් වනු ඇත. චීනයට එල්ල වන ප්‍රහාරයේ තේරුම එයයි. ලෝකයේ රටවලට සැපයුණූ විවිධ ආධාර ට්‍රම්ප් යටතේ හැකිළෙනු ඇතැයි ද සිතිය හැකිය. ඔහු යටතේ අධාර ලැබෙනු ඇත්තේ සෘජු කොන්දේසි යටතේය.

ට්‍රම්ප්ගේ නව ලෝක රටාව ඔහුම ජනාධිපතිවරණ සමයේදී කී අන්දමට පදනම් වනු ඇත්තේ න්‍යෂ්ඨික බෝම්බ පාවිච්චි කිරීමේ තර්ජනය යටතේය. මැදපෙරදිග මුස්ලිම් ජනයා වාසය කරන රටවල්ට එරෙහි නව යුද්ධයකට ට්‍රම්ප් ලැහැස්ති වනු ඇත්තේ දෙවන ලෝක යුද්ධයෙන් පසු පාවිච්චි නොකරන ලද අති දරුණූ ආයුධ සමඟිනි.

ට්‍රම්ප්ගේ ඇමෙරිකාවෙහි ස්ත්‍රීන් ද ඇතුළු දේශපාලන, සමාජිය සහ සංඛ්‍යාත්මක සුළුතරයන් අත් විදිනු ඇති විශම සැළකීම් ට්‍රම්ප්ගේ රාජපක්ෂ අපේක්ෂා කරන නව ලෝක රටාව ද බවට පත්වනු ඇත.

ට්‍රම්ප්ගේ නව ලොක රටාවෙහි තවත් ලක්ෂණයක් වනු ඇත්තේ ඔහුම ජනාධිපතිවරණයේදී සපථ කළ පරිදි මෑත කාලීන ලෝකයේ වැදගත් ජයග්‍රහණයක් වූ පරිසරය ආරක්ෂා කරගැනීමේ පැරිස් සම්මුතියෙන් එක්සත් ජනපදය ඉවත් කර ගැනීමයි. එය එසේ වුව හොත් එලඹෙන මහා පරිසර විනාශය වළක්වා ගැනීමට ඇති මහඟු අවස්ථාවක් විනාශ වී යනු ඇත.

ට්‍රම්ප් වනාහී නොදන්නාකමේ සහ අහංකාරකමේ භයානක සංකලනයකි.

රාජිත සේනාරත්න සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම ට්‍රම්ප්ගෙන් අපේක්ෂා කරන තවත් දෙයක් තිබේ. එනම් මානව හිමිකම් පිළබඳ ප්‍රශ්ණවලදී ඇමෙරිකා එක්සත් ජනපදය අන්තර්ජාතික වශයෙන් නිහඩව සිටිනු ඇති බවයි. එක්සත් ජනපදය සමඟ අප එකඟ වුවත් නැතත් පිළිගත යුතු එක් දෙයක් තිබේ. එනම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් පිළිබඳ යෝජනා සම්මත වූයේ එක්සත් ජනපදයේ මැදිහත් වීම නිසා බවය. එමෙන්ම එරට ඩිමොක්ක්‍රටික් පක්ෂයේ පාලනයක් නොතිබුණි නම් එළෙස එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් පිළිබඳ යෝජනා කිසිවක් සම්මත වන්නට තිබූ ඉඩ අල්පය.

රාජිතගේ සහ රාජපක්ෂගේ මේ අපේක්ෂාව ට්‍රම්ප් ජනාධිපති ධුරය යටතේ ඉටු වීමට ඇති ඉඩ බොහෝය. උදාහරණයක් වශයෙන් මේ වන විට 4000කට වඩා පුද්ගලයින් ප්‍රමාණයක් නඩු නොවිමසා ඝාතනය කර ඇති, එළෙස දස ලක්ෂයක් වුව ඝාතනය කිරීමට සූදානම් බව කියන පිලිපීන ජනාධිපති රුද්‍රිගු දුතර්තේට කිසිදු විවේචනයක් එක්සත් ජනපදයෙන් එල්ල නොවන්නට ඉඩ තිබේ. දෙන්නාම එක වල්ලේ පොල් ය.

ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් සම්බන්ධයෙන් අන්තර්ජාතික බලපෑමක් නොවී නම් රාජපක්ෂට තවමත් බලයේ ඉන්නට ඉඩ තිබුණි.මියෑදෙමින් තිබූ ඒ බලපෑමද දැන් වැදී ඇත්තේ යකුළු පහරකි. දැන් ඉතිං බොහෝ දුරටම මෙරට යුද්ධකාලීන මානව හිමිකම් කෙළෙසීම් සඳහා යුක්තිය ඉටු කිරීම හුදෙක් වචන වලට සිමා වීමට ඉඩ තිබේ. ශක්තිමත් දේශීය ව්‍යාපාරයක් මත මිස අන්තර්ජාතික තෙරපුම් ගැන අපේක්ෂාවන්හි එල්බ සිටීම තවදුරටත් වලංගු නැත.

ට්‍රම්ප් බලයට පත්වීම ලෝක විනාශය නොවුන ද ට්‍රම්ප් වනාහී ඒ අසළටම ලෝකය ගෙන යැහැකි තරමේ අංඥාන අහංකාරකමකින් යුතු කූට ජාවාරම්කාර දේශපාලනඥයෙකි. ඔහු නූගත්, ග්‍රාම්‍ය සහ සුදු ඇමෙරිකානු මහාජාතිකවාදයේ නියෝජිතයා ය. මෙවැනි පුද්ගලයකු මේතාක් එක්සත් ජනපදයේ ජනාධිපතිධුරයට පත් වී නැත. ට්‍රම්ප් නියෝජනය කළ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධානීන් ගණනාවක්ම ඔහුට ජන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියේ ද ඔහු විසින් ඇති කල හැකි භයානක දේශපාලන ආර්ථික වර්ධනයන් ගැන තිබූ බිය නිසාය.

එක්සත් ජනපදය යනු දේශපාලන සහ ආර්ථික යන දෙඅංශයෙන්ම ලෝකයේ බලවත්ම රට ය. එබැවින් එරට ඇතිවූ මෙම අව-වර්ධනය මුඵ ලොවටම නරකට බලපානු ඇත. එහි ක්ෂණික විපාකයක් වනු ඇත්තේ යුරෝපය පුරා දැනටමත් හමා යමින් ඇති සංක්‍රමනික විරෝධී දක්ෂිනාංශික ජාතිකවාදී සහ මානව විරෝධී දේශපාලනය ශක්තිමත් වීමයි. ගොඨාභය රාජපක්ෂ ද ට්‍රම්ප්ගේ සටන්පාඨය වූ ‘රට යළි දිනාගමු’ යන්නය පුනරුච්චාරණය කරමින් යවන ලද ටිවිටර් පණිවිඩය ද එම දක්ෂිනාංශික ජාතිකවාදයේ පිළිඹිබුවකි.

2017 ජනවාරි 20දා ඔහු ජනාධිපති ධූරයේ දිව්රුම් දීමෙන් පසු හොඳ හොඳ සෙල්ලම් බලා ගැනීමට අවස්ථාව එළඹෙනු ඇත‍.

ඒ කෙසේ වෙතත් තාවකාලික පසුබැම් වලට මුහුණ දීමට සිදු වුවද ලෝකයේ මානවවාදී ඉදිරිගාමී ප්‍රවණතාවයන් විසින් යළි ඉතිහාසය සිය අත්වලට ගන්නා බව ලෝක ඉතිහාසයේ අත්දැකීම වේ.

– සුනන්ද දේශප්‍රිය.
vikalpa.org