WORLD NEWS

දකුණු කොරියාවෙන් උතුරු කොරියාවට ආරාධනාවක්

දෙරට අතර යුදමය සාකච්ඡා ආරම්භ කළ යුතුව ඇතැයි දකුණු කොරියානු ආණ්ඩුව උතුරු කොරියානු බලධාරීන්ට යෝජනා කරයි.

2015 වසරින් අනතුරුව එවැනි යෝජනාවක් ඉදිරිපත් කෙරුණ පළමු අවස්ථාව මෙයයි. එම යෝජනාව ඉදිරිපත් කෙරුණේ උතුරු කොරියාව විසින් පසුගියදා මිසයිල අත්හදා බැලීම් කීපයක්ම සිදු කරනු ලැබීමෙන් අනතුරුවයි.

දකුණු කොරියාවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති සුහ් චූ -සුක් (Suh Choo-suk) ප්‍රකාශයක් කරමින්, කොරියානු රාජ්‍යයන් දෙක අතර යුද හමුදා විරහිත කලාපයේ පිහිටි ‘Panmunjom’ සටන් විරාම ගම්මානයේ දී එම සාකච්ඡා ආරම්භ කරන ලෙස ඉල්ලීමක් කරන ලද බව කියා සිටියේය. “එම සාකච්ඡාවේ ඉලක්කය ගැටුම්කාරී තත්වයක් උත්සන්නව පවතින දේශසීමාවේ එදිරිවාදී ක්‍රියා අවම කර ගැනීම” බවත් ‘සෝල්’ පාලනයේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා පවසයි.

“මේ යෝජනාව සම්බන්ධයෙන් ‘ප්යෝන්ග්යෑන්’ පාලනයෙන් ශුභවාදී ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන” බවත් නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.

ඔහුගේ යෝජනාව වන්නේ දෙරට අතර සාකච්ඡා ජූලි 21 වෙනි දින ආරම්භ කරනු ලැබීමයි. දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජේ-ඉන් (Moon Jae-in) පසුගියදා ජර්මනියේ බර්ලින් නගරයේ දී ප්‍රකාශයක් කරමින්, ‘ප්යෝන්ග්යෑන්’ පාලනයේ න්‍යෂ්ටික අවි ව්‍යාපෘතිය අවසානයකට ගෙන ඒම සඳහා උතුරු කොරියාව කෙරෙහි තවත් බලපෑම් කිරීමේ සංවාදයක් අවශ්‍ය කරන බව කියා තිබුණි.

එසේම කොරියානු රාජ්‍යයන් දෙක අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමේ උවමනාවත් දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් මතු කරනු ලැබ ඇත.

එහෙත් දකුණු කොරියාවේ අලුත්ම යෝජනාව සම්බන්ධයෙන් උතුරු කොරියාවෙන් ක්ෂණික ප්‍රතිචාරයක් පළ නොවුණි.

කොරියානු රාජ්‍යයන් දෙක අතර කෙළින්ම අදහස් හුවමාරු කර ගැනීමේ සන්නිවේදන සබඳතා යළි ස්ථාපනය කරන මෙන් දෙරට එකමුතු කිරීම භාර දකුණු කොරියානු ඇමති චෝ මයූන්ග් ග්යෝන්(Cho Myoung – gyon) ඉල්ලීමක් කරයි.

එහෙත් යෝජිත සාකච්ඡාවන්හි අවසානය යුද ගැටුමකින් කෙළවර විය හැකි බව සෝල් නගරයේ සිටින බීබීසි වාර්තාකාරිනී කරේන් ඇලන් (Karen Allen) පවසයි.

කෙසේවුවද, දෙරට අතර දේශ සීමාවේ ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් සිදු කරමින් පවතින “අපකීර්තිමත්” ප්‍රචාරක ව්‍යාපාරය නතර කරනු ලැබීම වැනි විශ්වාසය ගොඩනැගීමේ ආරම්භයක් එමගින් ගොඩ නැගීමට ඉඩකඩ ඇති බවත් ඇය පවසන්නීය.

– bbc.com/sinhala –