SRILANKAN NEWS

මුල්ලතිව්වලට ප්‍රදීපාගාරයක් අවශ්‍යයි – උතුරු පළාත් සභාවට යෝජනාවක්

මුල්ලතිව් දිස්ත්‍රික්කයට ප්‍රදීපාගාර නොමැති හෙයින් 5 දහසකට අධික ධීවරයන් දුෂ්කරතාවයට පත්ව ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිකරන් මහතා පවසයි.

අද (27) දින පැවැති උතුරු පළාත් සභා සැසිවාරයට එක්වෙමින් රවිකරන් මහතා විසින් මේ පිළිබඳ යෝජනාවක් සභාවට ඉදිරිපත් කළේය.

එහිදී රවිකරන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ, වසර ගණනාවකට පෙර ඉදිකළ මුල්ලතිව් ප්‍රදීපාගාරය විනාශයට පත්වී තිබෙන තත්වයක, යුද්දය අවසන්වී පසුගිය වසර අටක කාලයක් මුල්ලතිව් ධීවරයන් තම ධීවර සමිති හරහා විවිධ අවස්ථාවල, තමන්ට ප්‍රදීපාගාරය ඉදිකර දෙන්නැයි ඉල්ලා සිටි නමුත් මෙතෙක් ඒ සම්බන්‍ධයෙන් කිසිඳු යහපත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ හේතුවෙන් මුල්ලතිව් දිස්ත්‍රික්කයේ 5 දාහකට අධික ධීවර ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිති. එමෙන් මෙම යෝජනාව වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව රවිකරන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.