WORLD NEWS

නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික විරෝධී ICAN ආයතනයට

න්‍යෂ්ටික අවි මිහිතලයෙන් සහමුළින්ම ඉවත්කර දැමීම සඳහා කටයුතු කරන ICAN ආයතනය වෙත 2017 වසර සඳහා සාමය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පිරිනමන බව නෝර්වීජියානු නොබෙල් සාම කමිටුව නිවේදනය කරයි.

‘න්‍යෂ්ටික අවි ආයුධ ක්‍රමයෙන් ඉවත් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමින්, න්‍යෂ්ටික අවි තහනමක් වෙනුවෙන්’ ICAN ආයතනය විසින් ඉටු කරනු ලබන කාර්යභාරය නොබෙල් සාම කමිටුවේ අගය කිරීමට ලක්ව ඇත.

ICAN ආයතනයට මේ වසරේ සාම ත්‍යාගය පිරිනැමීම සම්බන්ධයෙන් නොබෙල් කමිටුව විසින් ප්‍රකාශිත හේතු පාඨයේ මෙසේ සඳහන් වෙයි.

“ඇතැම් රටවල් ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ගබඩා තවත් නවීකරණය කරමින් පවතින අතරවාරයේ උතුරු කොරියාව වැනි තවත් රටවල් න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමට ප්‍රයත්න දැරීම මගින් ලෝකය බරපතළ අනතුරකට මුහුණ දී ඇත”

න්‍යෂ්ටික අවි තහනම් කෙරෙන ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා ICAN ආයතනය මහා ප්‍රයත්නයක් දරන ලද හෙයින් ICAN ආයතනය සාම ත්‍යාගය වෙනුවෙන් සුදුසුකම් ලබන බව නොබෙල් කමිටුවේ සභාපතිනි බෙරිට් රීස් ඇන්ඩර්සන් (Berit Reiss-Andersen) ප්‍රකාශ කළාය.

අන් කවර කාලයකටත් වඩා න්‍යෂ්ටික අවි ආයුධ පාවිච්චි කරනු ලැබීමේ අන්තරයකට මුහුණ දී සිටින කාල වකවානුවක අද ලෝකය පවතින බවත් බෙරිට් රීස් ඇන්ඩර්සන් (Berit Reiss-Andersen) වැඩි දුරටත් සඳහන් කරයි.

මෙහිදී ඇය උතුරු කොරියානු අර්බුදය පිළිබඳවත් සඳහන් කරන්නීය. න්‍යෂ්ටික අවි ක්‍රමයෙන් මිහිතලයෙන් සහමුලින්ම අතුගා දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරන මෙන් නොබෙල් කමිටුවේ සභාපතිනිය න්‍යෂ්ටික අවි මගින් සන්නද්ධ රටවලින් ඉල්ලීමක් ද කළාය.

ICAN ආයතනයේ බලපෑම හමුවේ ලෝකයේ රටවල් 122 ක්, න්‍යෂ්ටික අවි ක්‍රමයෙන් සහමුලින්ම අත්හැර දැමීමට අදාළ එක්සත් ජාතීන්ගේ ගිවිසුමකට පසුගිය ජූලි මාසයේ අත්සන් කරනු ලැබුණි. එහෙත් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානියත් ඇතුළුව න්‍යෂ්ටික බලවතුන් ලෙස සැලකෙන රාජ්‍යයන් නවය එම ගිවිසුමට අත්සන් තබා නැත.

ජිනීවා නගරය මූලස්ථානය කර ගත් ICAN ආයතනය රාජ්‍ය නොවන සංවිධාන සිය ගණනක් සංයුක්ත වෙන වසර දහයක් තරම් පැරණි සංවිධානයකි. නොබෙල් සාම සහතික සම්මානවලට අතිරේකව ලබන දෙසැම්බර් මාසයේ ස්වීඩනයේ පැවැත්වෙන උත්සවයක දී ඇමෙරිකානු ඩොලර් එකොළොස් ලක්ෂයක (£94,000) මූල්‍ය ත්‍යාගයක් ද ICAN ආයතනයට පිරිනැමෙනු ඇත.

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් විසින් මෙහෙයවනු ලැබෙමින් පවතින න්‍යෂ්ටික ව්‍යාපෘතිය යටතේ පසුගිය කාල සීමාව ඇතුළත රොකට් ප්‍රහාර රාශියක් මෙන්ම න්‍යෂ්ටික අත්හදා බැලීම් කීපයක් ද වාර්තා විය. එම උතුරු කොරියානු හැසිරීම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අන් අතර වාග් සංග්‍රාමයකට හේතු වී ඇත.

ලෝකයේ ඉතාම බලවත් න්‍යෂ්ටික අවි ගබඩාවක් සිය අණසක යටතේ පවත්වා ගෙන යන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තම රටේ සහ තම මිතුරු රටවල ආරක්ෂාව වෙනුවෙන් ‘උතුරු කොරියාව සහමුළින්ම විනාශ කර දමන’ බවට අනතුරු ඇඟවීමක් කර ඇත.

නොබෙල් සාම කමිටුව ICAN ආයතනයට මේ වසරේ සාම ත්‍යාගය පිරිනමන ලද්දේ ලෝකය එවැනි තත්වයක් කරා ගමන් ගනිමින් පවතින අතරයි.

තමන් වෙත සාම ත්‍යාගය පිරිනමනු ලැබීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ICAN ආයතනය ‘න්‍යෂ්ටික අවි තබා ගැනීම සහ ඒවා පාවිච්චි කරන බවට අනතුරු අඟවනු ලැබීම නීතියට පටහැණිය’ යන පණිවුඩය එම තෝරා ගනු ලැබීම මගින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියාවට සැපයෙන බව කියා සිටියේය.

න්‍යෂ්ටික අවි ආයුධ තහනම් කෙරෙන ගිවිසුමක් ජය ගැනීම අතින් මෙය හොඳ මුල පිරීමක් වන බව එකසත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම තෝරා ගැනීම සම්බන්ධයෙන් ජර්මනිය විසින් ද ශුභ පැතුම් එක් කරනු ලැබ ඇත.

BBC Sinhala