SRILANKAN NEWS

ගන්ජා වගා කිරීමට කතාකරන ආණ්ඩුව පොල් කර්මාන්තය රැක ගැනීමට කටයුතු කළ යුතුයි

අද ගන්ජා වගා කිරීමට කතාකරන ආණ්ඩුව පොල් කර්මාන්තය දිනෙන් දින වළපල්ලට ඇදදමමින් සිටින බවත් ගන්ජා වැවීමට පෙර රටේ ආර්ථිකයට මහත් පිටුවහලක් වන පොල් හා ඒ ආශ්‍රිත කර්මාන්තය රැකගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ පොල් කර්මාන්තය සුරැකීමේ සංවිධාන එකමුතුව විසින් ඊයේ (21) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පොල් ඉඩම් කැබිලි කිරීමේ ජනාධිපති තහනම් නියෝගය වහාම බලාත්මක කරන ලෙස බලධාරීන්ට බල කරමින් පැවති එම මාධ්‍ය හමුවේදී මේ වනවිට පොල් හා ඒ ආශ්‍රිත කර්මාන්තය මුහුණ දී ඇති ඛෙදනීය තත්වය පිළිබඳ පැහැදිලි කරන ලදී.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා…

“පොල් අපනයන බෝගයක් බවට පෙළපොත්වල ඉගැන්නුවට අද පොල් ආනයන බෝගයක් බවට පත් වෙලා. පොල් මිදී ගැනීමේදී පොල් මිල අධික ලෙස ඉහළ ගිහින් තියෙනවා. පොල් ආශ්‍රිත කර්මාන්ත අද බරපතල කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. පොල්ලෙල්ලේ සිට සෑම දෙයකම මිල ඉහළ ගිහින් තියෙනවා. ෆාම් ඔයිල් ගෙන්වීම, පොල් තෙල් කර්මාණ්තය කඩා වැටීම සහ විශේෂයෙන් පොල් ඉඩම් කට්ටි කිරිම, සත්තුන්ගෙන් වන හානි. නියඟයෙන් වන හානි නිසා අද පොල් කර්මාන්තයට කණ කොකා හඬන තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා.

එවගේම 2014දී හෙක්ටයාර් තිස්දහස් හත්සිය හැත්තෑ එකක (හෙක්ටයාර් 30,771) භූමි ප්‍රමාණයක අලුතෙන් පොල් වගා කරණව. නමුත් 2016 වනවිට වගා කරන්නේ දහදහස් නවසිය අනූ හයයි. ඒ අනුව 64%ක වේගයකින් 2014ට සාපේක්ෂව 2016 වෙනකොට පොල් අලුතෙන් වගා කරන භූමි ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා.

කර්මාන්ත පුළුල්වීමත්, ජනගහනයේ වැඩිවීමත්, ඒකපුද්ගල පොල් පරිභෝජනයක් කියන මේ සියළු කාරණා සැලකිල්ලට ගත්තට පස්සේ අපේ පොල් ඉඩම් ඉතාමත් වේගයෙන් ක්ෂය වෙනවා. ඵලදාව අඩුවෙලා, පස නිසරුවෙලා. අපේ පොල් ගස්වලින් 60%ක් අවුරුදු 60 පැනපු වයෝවෘද ගස්.

ඉන්දියාව හෙක්ටයාර් එකකින් 9500ක අස්වැන්නක් ගන්නකොට අපි ගන්නේ 6500ක අස්වැන්නක් විතරයි.” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.