කෝප් වාර්තාවෙන් හෙළිදරවු කර ඇති මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසට වහාම නීතිමය පියවර ගන්නා ලෙසත් එමගින් රජයට සිදුවූ පාඩුව පියවා ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මහ බැංකු වාර්තාව පිළිබඳ ගත යුතු හදිසි ක්‍රියාමාර්ග මැයෙන් ජනතා විමුක්ති පෙරමුණේ යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා
කෝප් වාර්තාව නිකුත් වූවාට පසු එයින් නිර්දේශ කර ඇති කි‍්‍රයාමාර්ග ගන්නවා වෙනුවට ආණ්ඩුව විවිධ කතා කියමින් ඉන්නවා. ආණ්ඩුවේ ඇමතිවරුත් වංචනිකයින් ඇල්ලිය යුතු බව තැන තැන කියනවා. හිටපු ජනාධිපතිවරයාත් මේ පිළිබඳව කෑ ගහනවා. ඔවුන් උත්සාහ කරමින් ඉන්නේ මහ බැංකු බැඳුම්කර සිදුවීමෙන් තමන්ගේ චෝදනා වසා ගැනීම සඳහා ආවරණයක් කර ගැනීමටයි. ආණ්ඩුවේ අජිත් පී. පෙරේරා, ඩිලාන් පෙරේරා වගේ ඇමතිවරු බැඳුම්කර හොරු ඇල්ලිය යුතු බව කියනවා. ඇමතිවරුත් එහෙම කියනකොට අපට ප්‍රශ්නයක් එනවා ආණ්ඩුව කාගෙද කියලා. ඇත්තටම ඔවුන් කරමින් ඉන්නේ මහ බැංකු බඳුම්කර වංචාව පිළිබඳ නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම වෙනුවට ජනතාව මුලාවට පත්කිරීමට උත්සාහ කිරීමයි. මේක හරියට බස් එකක පොකැට් ගහපු හොරෙක් අවධානය වෙන පැත්තකට හරවන්න දුවන ගමන් ‘මෙන්න හොරෙක්’කිය කිය දුවනවා වගේ වැඩක්. මිනිස්සුන්ට හොරෙක් පේන්න නැහැ. ඇත්තටම මේක විගඩමක්. එම නිසා ජවිපෙ තීරණය කළා, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව ගත යුතු කඩිනම් කි‍්‍රයාමාර්ග පිළිබඳව ආණ්ඩුවට බල කරන්න.
2015 ජනවාරි 08දූෂිත පවුල් පාලනය අවසන් කිරීම සඳහා ජන වරමක් ලැබුණා. එහිදී ජනතාව කිව්වේ, දූෂිතයින් හා වංචනිකයින් නීතිය හමුවට පමුණුවන්න කියන එක. ජනවාරිවලින් පස්සේ පෙබරවාරි 27 වෙනකොටම මේ ආණ්ඩුව ඇතුළේ මහා පරිමාණ වංචාවක් සිද්ධ වෙනවා. ඒක මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම ආශි‍්‍රත සිදුවීම්. මේ වංචාව පිළිබඳව මාධ්‍ය සාකච්ඡුාවක් තියලා මුලින්ම රටට හෙළිකළේ අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා. අපි එහිදී යෝජනා කළා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ඉවත් කරලා වංචාව පිළිබඳ පරීක්ෂණ කරන්න කියලා. ඒත් ආණ්ඩුව ඒ සම්බන්ධව කි‍්‍රයාත්මක වුණේ නැහැ. මේ අතරේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ධුරය ජවිපෙට ලැබෙනවා. කොප් කමිටුව මේ පිළිබඳ පරීක්ෂණය පවරා ගත්තා. නැතුව කවුරුත් බාර දුන්නා නොවේ. ආණ්ඩුව පැත්තෙන් පරීක්ෂණවලට විධිමත් පරිදි සහාය වීමක් ලැබුණේ නැහැ. ඒ අතර මහ බැංකුවේ රහස් පිටවීමක් ගැන කියලා නිලධාරීන් බියවැද්දීමටත් උත්සාහ කළා. කෝප් කමිටු පරීක්ෂණ නොනැවතී ඉදිරියට ගියා. අවසානයේ කෝප් වාර්තාව හදද්දී එජාප මන්තී‍්‍රවරුන් මගින් වාර්තාව දුර්වල කරන්න උත්සාහ කෙරුණා. එක් අවස්ථාවක සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා කමිටුවෙන් නැගිටලා ආවේ මේ තත්වය තුළයි. මේ ගැන ඇතිවුණු රටේ මතය එජාපයට අවාසිදායක වුණා. ඊට පස්සේ එජාපය තමන්ගේ උපක්‍රමය වෙනස් කළා. ඒ අනුව කමිටු වාර්තාවේ නිර්දේශවලට දේශපාලන මුහුණුවරක් දෙන වචන ඇතුල් කරලා, බලතල ඉක්මවූ නිර්දේශ දාන්න හදලා වාර්තාව අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරවීමේ උත්සාහයක නිරත වුණා. ඒත් ඒ කිසිවක් කරගන්න ඔවුන්ට බැරිවුණා. ඒ නිසා ඔවුන් වියරු වැටී ඝෝෂා කරමින් ඉන්නවා.
අගමැතිවරයාට මේ වංචාවට අදාළ බරපතළ වගකීමක් තිබෙනවා. මෙතෙක් කලක් මුදල් ඇමතිවරයා යටතේ තිබූ මහ බැංකුව අගමැතිවරයාගේ වගකීම් යටතට ගත්තේ ඔහුයි. ඔහුගේ මිතුරෙක් වුණු සිංගප්පූරු පුරවැසි අර්ජුන් මහේන්ද්‍රන් ඔහු මහ බැංකුවේ අධිපති බවට පත් කළා. පත්වූ විගසම වගේ ඔහු කළේ පෙබරවාරි 27 බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ වීම. මේ පිළිබඳව රටේ මහත් ආන්දෝලනයක් ඇතිවුණා. අගමැතිවරයා පිරිසිදු නම් ඔහු කළ යුතුව තිබුණේ අධිපතිවරයා ඉවත් කර ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමයි. එහෙත් ඔහු ඒ පිළිබඳව කිසිදු තැකීමක් කළේ නැහැ. අධිපතිවරයා ආරක්ෂා කළා. අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිවරයාගේ ධුර කාලය නිමාවෙද්දී නැවත වරක් ඔහුව පත්කිරීමට උත්සාහ කළා. රටේ ඇතිවූ ජනමතය හමුවේ ඔහුගේ කාලය දිගු කිරීමේ උත්සාහය වැළකී ගියා.
කෝප් කමිටුවේ මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ වී ඉදිරියට යද්දී එජාපය කමිටුවේ සාමාජික වේළුකුමාර් මන්තී‍්‍රවරයා ඉවත් කර සුජීව සේනසිංහ මන්තී‍්‍රවරයා පත්කළා. ඔහුටත් සෙසු එජාප මන්තී්රවරුන්ටත් උපදෙස් දී කමිටු වාර්තාව එජාපයට අවශ්‍ය ලෙස වෙනස් කර ගැනීමට මෙහෙයුමක් දියත් කළා. එහෙත් මේ සියලූ උත්සාහයන් පරාජයට පත්වී ශක්තිමත් කෝප් වාර්තාවක් දැන් රටට ඉදිරිපත් වී තිබෙනවා. මේ තත්වය තුළ කෝප් වාර්තාවේ නිර්දේශ වහාම කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගත යුතුව තිබෙනවා. ඒ සඳහා ජවිපෙ පහත කඩිනම් කි‍්‍රයාමාර්ග ආණ්ඩුවට යෝජනා කරනවා.
- මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ කෝප් වාර්තාව පදනම් කර ගනිමින් මෙම වංචාවට සම්බන්ධ සියලූම දෙනාට එරෙහිව නීතිමය පියවර ගැනීමට හා එහිදී වැරදිකරුවන් වන සියලූ දෙනාට උපරිම දඬුවම් ලබාදීමටත් රජයට වංචා කළ මුදල් ප්‍රමාණය ආපසු අයකර ගැනීමටත් අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගැනීම
- මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට කෝප් වාර්තාවේ සඳහන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා දැනට දරන රජයේ හා ආර්ථිකයේ සියලූ තනතුරුවලින් වහාම ඉවත් කිරීම හා නැවත රජයේ කිසිදු තනතුරකට පත් නොකිරීම
- බැඳුම්කර වංචාව මගින් අධික ලාභයක් ලබා ඇති පර්පචුවල් ටේරෂරීස් සමාගම මෙම වංචාව මගින් උපයා ගත් වත්කම් පිටට රැුගෙන යාමේ ඉඩක් පවතින නිසා එම සමාගම හා ඊට අනුබද්ධ සියලූ සමාගම්වල සියලූ වත්කම් හා මුදල් පිටට රැුගෙන යාම වැළැක්වීමට අවශ්‍ය නීතිමය කි‍්‍රයාමාර්ග වහාම ගැනීම
- කෝප් වාර්තාවෙන් අනාවරණය වී ඇති කරුණු අනුව මෙම වංචාවට සම්බන්ධ පර්පචුවල් ටේරෂරීස් සමාගම මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ ලැයිස්තුවෙන් වහාම ඉවත් කිරීම
- මෙම වංචනික ගනුදෙනුව සඳහා තම වෘත්තීය වගකීම මගහරිමින් මෙම ගනුදෙනුවට සහාය දැක්වූ මහ බැංකුවේ නිලධාරීන් විසින් බැඳුම්කර වංචාව පිළිබඳ කරන පරීක්ෂණවලට බාධා කළ හැකි නිසා මෙම පරීක්ෂණ නිමවන තුරු ඔවුන් මෙයට අදාළ වගකීම්වලින් වහාම ඉවත් කිරීම
- එසේම, වත්මන් කෝප් වාර්තාවට පෙර 2015 අගෝස්තු 09 ඉදිරිපත් කළ කෝප් වාර්තාවෙන්ද පෙන්වා ඇති කරුණු සැලකිල්ලට ගනිමින් පසුගිය කාලය පුරා මහ බැංකුව මගින් බැඳුම්කර නිකුත් කිරීමේදී හා විවිධ මූල්‍ය ගනුදෙනුවලදී සිදුව ඇති වංචා සහ අක්රමිකතාවයන් සෙවීම සඳහා විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම
දැන් ආණ්ඩුව කළ යුත්තේ බැඳුම්කර සිදුවීම පිළිබඳව පාරේ කෑ ගහන එක නවත්වලා නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමයි. ඒ වගේම මෙම කඩිනම් යෝජනා කි‍්‍රයාවට නැගීමට කටයුතු කිරීමයි. මේ ආණ්ඩුවේ හැසිරීම ගැන අපට විශ්වාසයක් නැහැ. ඒ නිසා මේ යෝජනා සම්බන්ධයෙන් ජනමතයක් ගොඩනගා ආණ්ඩුවට කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා බලකළ යුතුව තිබෙනවා. ඒ සඳහා දැවැන්ත ජනමතයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. ඒ සඳහා මැදිහත්වෙන්න අපි ජනතාවට ආරාධනා කරනවා.
– lankatruth
Add Comment