SPORTS

ද. අප්‍රිකාවට එරෙහි 20/20 තරගය ජය ගනිමින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනී

සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තුන්වැනි 20/20 තරගය ජය ගනිමින් තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 2-1 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

නිව්ලෑන්ඩ්ස් පිිටියේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 169ක් රැස්කරමින් ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 170ක ඉලක්කයක් ලබාදුන්නේය. එයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු පහක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 51 කදී හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 68ක් ලබා ගත් අතර වේගවත් පිතිහරඹයක නිරත වූ සීක්කුගේ ප්‍රසන්න පන්දු 16කදී හතරේ පහර 3ක් හා හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 37ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අමතරව උපුල් තරංග ලකුණු 20ක් හා ධනංජයද සිල්වා ලකුණු 19 ක් ද ධනංජය ගුණරත්න නොදැවී ලකුණු 11ක්ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් විය.

දකුණු අප්‍රිකාවට එරෙහිව තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 28 වැනි දා ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදි මීට ඉහතදී ටෙස්ට්, එක්දින හෝ විස්සයි20 තරගාවලියක් ජයග්‍රහණය කර නොමැතිවීම විශේෂත්වයකි.