WORLD NEWS

සිරියානු බන්ධනාගාර තුළ 18,000 ක් පමණ මියගිහින්

18000_CI2011 වසරේ ජනතා නැගිටීමත් සමග සිරියානු රජයේ බන්ධනාගාර තුළ දී 18,000 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International)පවසයි.

බන්ධනාගාර තුළ දී වධ හිංසාවලට ලක් වී දිවි බේරාගත් පුද්ගලයන් 65,000 කගෙන් තොරතුරු ලබාගනිමින් පුණ්‍ය ආයතනයක් මගින් සකස්කළ වාර්තාවකට අනුව මේ බව අනාවරණය වී තිබේ.

ඔවුන් සමග පැවති සම්මුඛ සාකච්ඡාවල දී පැවසුවේ ‘පිළිගැනීමේ සාදය’ නමින් හඳුන්වන වධහිංසා දෙන ක්‍රමවේදයේ දී යකඩ බට වලින් පහර දීම සහ විදුලි සැර වලට ලක්කිරීම සිදුකර ඇති බවයි.

එහෙත් සිරියානු රජය සැමවිටම එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

මාසයකට 300 ක්

2011 මාර්තු මාසයේ සිරියානු ජනාධිපති බෂාර් අසාද් ට එරෙහිව සිදුවූ ජනතා නැගිටීමේ සිට 2015 වසර දක්වා සිරියාව පුරා පුද්ගලයන් 17, 723 ක් අත් අඩංගුවේ සිටියදී මියගොස් ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

ඒ අනුව දිනකට පුද්ගලයන් 10 දෙනෙකු හෝ මාසයකට පුද්ගලයන් 300 ක් මියගොස් ඇති බවටයි සැලකෙන්නේ.

අදාළ වාර්තාවට අනුව නව රැඳවියන් ට මුහුණ දීමට සිදුවන “ආරක්ෂක පරීක්ෂාවේ” දී කාන්තා රැඳවියන් බොහෝ විට ආරක්ෂක නිලධාරීන්ගේ ලිංගික හිංසනයට ලක්වී ඇත.
“ඔවුන් අපිට සැළකුවේ සත්තුන්ට වගේ, ඔවුන්ට අවශ්‍ය වුණේ අපිත් අමනුෂ්‍යයෝ වගේ වෙනවා දකින්න” යනුවෙනුයි එම වාර්තාව සඳහා අදහස් දැක්වූ සමෙර් නම් නීතිඥවරයා ප්‍රකාශකළේ.

” මම දැක්ක ලේ ගංගාවක් වගේ ගලාගෙන යනව. මිනිස්සුන්ට මේ තරම් පහත් තත්වයකට වැටෙන්න පුළුවන් කියල මම හිතුවෙ නැහැ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

යුධ අපරාධ

පසුගිය පෙබරවාරි මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ සිදුකල බවට සිරියාවට චෝදනා කළේය.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සිරියානු අර්බුධය නිමා කිරීම පිණිස පවතින සාම සාකච්ඡා වල පාර්ශව කරුවන් වන ඇමරිකාවෙන් සහ රුසියාවෙන් ඉල්ලා ඇත්තේ මෙම වාර්තාවෙන් මතුකර ඇති කරුණු සම්බන්ධව අවධානය යොමු කරන ලෙසටයි.

සිරියාවේ පවතින අර්බුධය හේතුවෙන් පසුගිය වසර 5 ක කාලය තුළ පුද්ගලයන් දෙලක්‍ෂ පනස්දහසක් මියගොස් ඇති අතර කෝටියකට වැඩි පිරිසකට උන්හිටි තැන අහිමි වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ වාර්තා පවසන්නේ.

BBC Sinhala